si_104318_0 වසර තිහකට වැඩි කාලයක් යුද්ධ හමුදාවට අභීත සේවයක් කරමින් යාපනයෙන් නික්ම යන මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සඳුදා (8) දින කෝපායි හී පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී පැවති උත්සවයකදී ඔවුන්ගේ ගෞරවාචාරය පුද කළේය si_104318_1 අනතුරුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය si_104318_2 පසුව එතුමන් සියළු නිලයින් අමතමින් සිය ධුර කාලය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වූ අතර ඉදිරියටද ඒ ආකාරයෙන්ම තමන්ගේ රාජකාරී කටයුතු සිදු කරන ලෙස දැනුම් දුන්හ si_104318_3 අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න තව නොබෝ දිනකින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට ද නියමිතව ඇත si_104318_4 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීම් භාර ගැනීමට පෙර යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් ගණනාවක් හොඹවා ඇති එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය මෙන්ම යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කර ඇත